නංගිගෙ මාලේ-03


                                                                                                 මුල් කොටසට...
 මම සාලෙට ඇවිත් පුටුවක් උඩ වාඩි වෙලා උඩ බලාගෙන කල්පනා කරන්න ගත්තා. නංගිගෙ මාලෙ ගැන නෙවෙයි. සිවිලිමේ තිබ්බ මකුළුදැල් ගැනයි මම මේ කල්පනා කලේ. වැඩකාරයා වගේ එක වැඩක් ගොඩ දාගත්තට මේකෙදි නම් මම හිර වෙලා කියලා මට දැනුනා. කැලේ වගේ හෝඩුවාවන් හොඳට පැහැදිලිව හිටින්නෙත් නෑ මේ කාමර අස්සේ. තිබුනොත් නම් ඉතින් එලියෙම තමා.

මම ඔහේ කල්පනාවෙ ඉද්දි ඇන්ටියි නංගියි චමියයි තුන් දෙනාම මගේ දිහා බලාගෙන සාලෙටම වෙලා හිටියා. හැබැයි කවුරුවත් මගෙ කල්පනාවට බාධා කරන්න ආවෙ නෑ. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට ඇන්ටිගෙයි නංගිගෙයි ඉවසීම අඩුවෙලා වගේ, මගේ දිහා බලා ඉඳිල්ල ඇති වෙලා අනෙත් පැත්ත හැරුනා. දෙන්නත් එක්ක කුටු කුටු ගගා කුස්සිය පැත්තට යනකොට මම එලියට බැස්සා. චමියා මගෙ පස්සෙන් ආවා.

මම ටිකක් වෙලා කල්පනා කලේ මොනවද මම හොයන හෝඩුවාවන් කියලා. හොරෙක් ආව නම් උගේ අඩි සලකුණු, උගෙ ඇඳුමේ නූල් කෑල්ලක්, නැත්නම් උගෙ ඇඩ්‍රස් එක ලියලා තියෙන විසිටින් කාඩ් එකක්වත් ඌ තියලා ගියාද කව්ද දන්නෙ?

පුහ්... මගෙ මහ ලොකු හැකියාව. හම්බවෙයි මට...

මම බිම බලාගෙන දොරකඩ ලඟ එහාට මෙහාට ගියා. ම්හු. පේන්න දෙයක් නම් නෑ. අනේ අපොයි. මටත් පිස්සුනෙ. හොරෙක් ආවොත් ඉස්සරහ දොරෙන් එයිද? මට තනියෙන් හිනා ගියා මන් ගැනම.

මම මිදුලට බැස්සා. ඊට පස්සෙ බිම බලාගෙනම පිළිකන්න පැත්තෙන් ගේ පිටිපස්සට ගියා. අඩි ලකුණක්වත් වෙන මොකුත් ලකුණක්වත් මට පෙනුනේ නම් නෑ. තිබ්බත් මඩේ එරුනා වගේ තිබ්බොත් මිස මගේ ඇහැට පේන්නෙ නෑනෙ?  මට ඒ ගමන මතක් උනේ සේනාරත්න මහත්තයව. එයා හිටියා නම්...


මම කුස්සිය පැත්තට යනකන්ම බිම බලාගෙන කල්පනා කර කර ආව මිසක් ඔලුවක් උස්සලා බැලුවේ නෑ. කුස්සියෙ දොර ගාවටම ආවම මම ටිකක් ඔලුව උස්සලා බැලුවා. බැලුවාම විතරයි. මගේ නහය ගාවින්ම යමක් වේගෙන් ඇදිලා ගියා. .

මොනවා කියලද හිතන්නේ?...

ඇන්ටිගෙ ඉඳුල් වතුර පාරක්.. බේරුනේ පෙර පිනකට.  ඇන්ටි කොරහකුත් අතේ තියාගෙන කටත් ඇරගෙන මගේ දිහා බලන් ඉන්නවා.

"අනේ පුතේ... වැදුනද?.."

"නෑ ඇන්ටි. ලඟින් ගියා විතරයි.."

"මම දැක්කෙ නෑනෙ පුතේ. අනේ වැදුන නම්...
මම මේ ඉක්මනට ගේ දොර අස් පරස් කරලා දාන්න හැදුවෙ පුතේ.. පන්සල් කන්ද පැත්තෙ ගිහින් එන්න ඕනි. එහෙ ඉන්නවාලු හොඳ සාත්තරකාරයෙක්..."

"ඇන්ටි හදිස්සියෙ සාත්තර අහන්න හිතුවෙ?.."

"කෙල්ලගෙ මාලෙ ගැන පේනයක් බලන්න යන්න කියලා..."

"ආ....
එහෙනම් ඇන්ටි මන්...."

"නෑ නෑ පුතා මේක හොයන්නකෝ.. අපි මේ නිකමට වගේ බලවගන්න හැදුවෙ.."

"හා හරි හරි..."

ඇන්ටි ඇතුලට ගියා. මට නම් 'ශෙහ්.. අපරාදෙ' කියලා හිතුනා. සාත්තර කාරයට වැඩේ බාර දීලා මන් දිරා මාරු වෙන්න හැදුවෙ. කොහෙද ඉතින්..

කුස්සිය පැත්තෙ උනත් මට ඒ හැටි බලන්න දෙයක් තිබුනෙ නෑ. තිබුන දෙයක් උනත් මම දැක්කෙ නැතුව ඇති. මම අනෙත් පැත්තෙ පිළිකන්න පාරෙන් ආයෙත් ගේ ඉස්සරහට ආවා. ඒ එන ගමන් බිම වගේම උඩත් බැලුවා. මට අඳුනගන්න තරමේ කිසිම හෝඩුවාවක් නෑ.

කාමර වල ජනෙල් වලට ග්‍රීල් දාලා. ගෙයි බිත්තියයි වහලෙයි අතරෙන් හොරෙක්ට පනින්නත් ඉඩක් නෑ. වඩිම්බු ලෑලි ගහලා. වැහි පීලි අල්ලලා. ඒ මදිවට වහලෙත් ඇස්බැස්ටෝස් ශීට්. වහලෙන් බහින්නත් බෑ. හොරෙක් ආව නම්.. දොරෙන්ම තමයි. ඉතින් ගෙදර කවුරුවත් දොර ඇරලා හොරෙක්ව ගෙට අරන් නෑනෙ? හොරෙක් තියා කවුරුවත් ඇවිත් නෑ ගෙදර අය දැනුවත්ව. අනෙක මාලෙ නැති වෙලා තියෙන්නෙ ගෙදර හැමෝම ඉන්න වෙලාවක. එයාලට නොදැනුවත්ව මිනිහෙකුට ගේ අස්සට රිංගන්නත් බෑ කියලා මට පැහැදිලියි.

ඇන්ටි, නංගි, අනෙත් අය, ගෙදරින් ගිය වෙලාවෙ හොරෙක් ආවා කියන අදහස දැනටමත් මම අතෑරලා. මොකද නංගිම කියනවා ඒක නැති උන වෙලාව. ඒ වෙලේ හැමෝම ගෙදර. පිටින් හොරෙක්ට එන්නත් බැරිනම්,... කවුද මේක ගත්තෙ? ඇතුලෙ හොරෙක්ද?

මට චමිය දිහා බැලුනා. ඌත් මන් දිහාම බලන් ඉන්නවා. ඌ ගත්තා කියලා නම් මට හිතාගන්නවත් බෑ. ඌ ගැන ඌටත් වඩා හොඳට මම දන්නවා.

සිරිසේන මාමා??
නෑ. එයා මොටද තමන්ගෙම දුවගෙ බඩු හොරකම් කරන්නෙ?

එතකොට ඇන්ටි ගත්තද? ඒත් එයාටනෙ මාලෙ හොයාගන්න තදියම? අනෙක මාලෙ අරන් එයා මොනවා කරන්නද?  අම්මල තාත්තලා කියන්නෙ  එහෙම අය නෙවෙයිනෙ. තමන්ගෙ දේ උනත් දරුවන්ට දෙන අය. ඇරත් මේ අය ගැන මම හොඳට දන්නවා.. ඉතින් මට සැක හිතන්න ඉතුරු???

නංගි ගැන විතරයි...

ඇත්තටම නංගි ගැන මට දැන් නම් ඇති වෙන්නෙ ලොකුම සැකයක්. මාලෙ අන්තිමට දැක්කෙත් එයා. ඒක තිබ්බ තැන ඒක තිබ්බ වෙලාව, අනන් මනන් සේරම දන්නෙ එයා විතරයිනෙ. එයා කියන දේවල් විතරයි අපිට තියෙන්නෙ මේ කේස් එක විසඳන්න. එයා කිව්වෙ මාලෙ හවස බලද්දි නැති වෙලා කියලා. ඒත් එයාම කිව්වා ඒ මාලෙ ගලවලා තියලා වොෂ් එකක් දාලා කාමරේට ආවා, එවෙලෙ මාලෙ තියෙයිද බැලුවෙ නෑ කියලා. ඊටත් පස්සෙ එලියට ගිහින් වැඩ කරලා කාමරේට ආපු වෙලාවකයි එයා මාලෙ තියේද බැලුවෙ. එවෙලෙ බැලුවෙ මොටද? ඒක උදේටම බලන්න තිබ්බනෙ? අනෙක එයා කියන විදියට එවෙලෙ හොරෙක් ආව වෙන්නත් බැරි එකේ, මාලෙ අතුරුදන් කරන්න පුළුවන්කම තියෙන්නෙත් එයාටම විතරයි...

ඔන්න මට දැන් නංගි ගැන හද්ද සැකයි.

ඒත් මොකටද බන් එයා එයාගෙම මාලෙ හොරකම් කරන්නෙ? සල්ලි ඕනිවටද? ඒත් මන් දන්න තරමින් නම් ගෙදරින් එයාට ඉල්ලන පරක්කුවට සල්ලි දෙනවා. චමිය වගේ නාස්තිකාර වැඩ නොකරන හින්දා.. ඇත්තටම මොකද වෙන්න ඇත්තෙ?

මේව හිතනකොට මගෙ ඔලුව රත් වෙලා පිච්චෙන්න වගේ ආවා. මම ඔලුව පොඩ්ඩක් එහාට මෙහාට ගසලා රවුමට කරකවලා ඇස් දෙක පොඩි කලා. ඊට පස්සෙ චමිය දිහා බැලුවා. ඒ ගමන ඌත් ඇස් දෙක පොඩි කරලා මන් දිහා බැලුවා. මට පිස්සු හැදීගෙන එනවා කියලා හිතෙන්න ඇති.

මට හිනා, ඌ බලපු විදියට. ඒකට මොකද. ඌ කොහොම බැලුවත් මට හිනා යනවනේ. මට හිනා නොයන විදියකට බලන්න නම් ඌ දන්නෙ නෑ...

මම හෙමීට ඇවිදගෙන ආව ගේ ඉස්සරහට. ඇවිදගෙන එනකොට නංගිගෙ කාමරේ පැත්ත බැලුනා. ජනේලේ අඩවන් වෙලා. ඒ ගමන මම ඉක්මනට ගේ ඉස්සරහට ආවා. ඊට පස්සෙ මිදුල දිගේ හෙමීට ඇවිදගෙන ආව වැට ලඟට. එතන ඉඳන් හැරිලා බැලුවම නංගිගෙ කාමරේ අගේට පේනවා, ජනේලෙ අස්සෙන්.

වැට ලඟ ඉඳිමින් මන්.. එබී බැලින්නම්...  නංගිගෙ කාමරේ දිහාවට.

මොකුත් පෙනුනෙ නෑ. ඇතුලේ කළුවරයි. මෙහෙම එබෙන වැඩේ කැතයි. ඒ උනාට යහපත් අදහසකින්නෙ. ටිකක් වෙලා ඔහොම්මම බලා ඉන්නකොට මට මතක් උනා. චමියත් මන් ලඟනෙ කියලා. ඌ මොනවා හිතුවද මන්දා. ඒත් කමක් නෑ කියලා මම ඔහේ බලා හිටියා. එතකොටම මන් දැක්කා, නංගිත් කාමරේ ඉඳන් ජනේලෙ ලඟට එනවා. එයා මුලිනුත් කාමරේ ඉඳලා. ඒත් මට පෙනුනෙ නෑනෙ.

නංගි ජනේලෙ ලඟට ඇවිත් ජනේලෙන් එලියට අත දැම්මා. මේ මොකාටද එන්න හදන්නෙ? මට ටටා කියන්නද? හි හි.. මමත් ටටා කියන්න අත උස්සනකොටම එයා දඩාස් ගාලා ජනේලෙ වහගත්තා. ෂිකේ. ලැජ්ජාව කෝටි එක හමාරයි. මම බාගෙට උස්සපු අත උඩටම උස්සලා නළලට තියාගත්තා.

"හරි අව්වයි බන් මෙතනට.."
මම හැරිලා බලලා චමියට කිව්වෙ.. ඌත් ඔලුව වැනුවා. ඒත් මම දන්නවා. වටේ ගස්කොළං හින්දා මෙතනට හෙවනයි.

නංගි කේන්තියෙන් වගේ ජනේලෙ වැහුවෙ මොකෝ. මන් වැරදි දෙයක් බැලුවයැ? අඩුම තරමෙ එයා ඇතුලෙ ඉන්නවා කියලවත් මන් දැනන් හිටියෙ නෑ...

අපොයි. මට දැන්නෙ මතක් උනේ. ඇන්ටි නංගිත් එක්ක යනව කිව්වනෙ සාත්තරයක් අහන්න. කෙල්ල යන්න ලෑස්ති වෙවී ඉන්න ඇති. ඒත් කෙල්ල ඒක අස්සෙ ඉන්නවද කියලවත් මම දැක්කෙ නෑ. ඒත් ඒ බවක් කෙල්ල දන්නෙ නෑනෙ. ඒකි හිතන්න ඇති මන් මහ වලෙක් කියලා..

ෂික්..
මේ පිස්සු හිතන්නැතුව මාලෙ හොයාගන්න ඕනි..

මම කල්පනා කලා. ඇත්තටම නංගිමද මාලෙ ගන්න ඇත්තෙ? නැත්නම් හොරෙක් ගත්තද? හොරෙක් ආව නම් ඌ නොපෙනි යන්න හොඳ හැකියාවක් තියෙන එකෙක්. නැත්නම් මාලෙ තියෙන තැන දැනගෙන ඒකටම කෙළින්න බලාගෙන ආපු එකෙක්. ඒත් ඌ කොහොමද මාලෙ ගැන දන්නෙ? මේ මන් වගේ නංගි මාලෙ ගලවලා තියනකොට ජනේලෙන් බලා හිටියද? සමහර විට ඌ ජනේලෙන් අත දාලා මාලෙ ගත්තද? අතට අහු වෙන මායිමේ නැත්නම් කෝටු කෑල්ලක් දික් කරලා හරි???

ශෙක්. මට මේක කලින් හිතුනෙ නෑනෙ? කාමරේට ගිය වෙලේ නංගි මාලෙ තිබ්බ තැන පෙන්නුවට ජනේලෙ ලඟ තිබ්බද නැද්ද කියලා බලාගන්න මට බැරි උනා. දැන් ගිහින් එබෙන්නත් බෑනෙ. නංගිලා යනකම් ඉඳලා බලන්න ඕනි. එතකන් මේ අවට හෝදිසි කරලා බලන්න ඕනි කියලා මට හිතුනා. මට දැන් හිතුන විදියට හොරකම වෙලා නම්, ඒක කරපු එකා ඉන්න ඇත්තෙ නංගිගෙ කාමරේ පේන තැනක. මේ මන් ඉන්නවා වගේ තැනක.

මම වට පිට බල බලා ආයෙත් චෙක් පාර දාන්න ගත්තා. මේ අහල පහලක කෝටු කෑල්ලක්වත් තියේද බලන්න. ම්හු... මොකුත් නෑ. ඇන්ටි හොඳට මිදුල අතුගාලා..  මම චමිය දිහාට හැරුනා.

"මචන්.. උඹැලෑ අම්මා මිදුල අතුගාලා කුණු රොඩු විසි කරන්නෙ කොහේටද?."

චමියා මගේ දිහා ඇස් පුංචි කරගෙන බැලුවා. ඊට පස්සෙ ඌ වට පිට බලලා මගෙ ලඟට කිට්ටු වෙලා රහසින් මෙහෙම කිව්වා.

"අල්ලපු වත්තට."

මගෙ ඇස් බෝල ලොකු උනා. ඌ ඒක දැකලා අප්සෙට් ගියාද කොහෙද.
"කොළ රොඩු නම් වත්ත පහලට අතුගාලා දානවා. ඔය ෂොපින් බෑග් වගේ ඒව තමයි. ඒකත් කලාතුරකින්..."

"නෑ බන්, මම මේ ඇහුවේ කෝටු කෑලි වගේ දෙයක් හෙම?"

"ආ.... පොඩි පොඩි ඒව නම් විසි කරනවා ඇති. ලොකු ඒවා නම්... මන් හිතන්නෙ දර මඩුවට දානවා."

"හා යමන් එහෙනම්."

"කොහෙටද?"

"දර මඩුවට"

"අපෝ බෑ. මට බෑ. උඹ පලයන්.."

"ඒ මොකෝ."

"ඒකට ගැරඬි රිංගනවා."

"තොගෙ #$%^&*(@#$%"

මම කුනු හබ්බයකුත් කියාගෙන චමියගෙ අතින් ඇද්දා. ඌ අකමැත්තෙන් වගේ ඇදි ඇදී ඉඳලා, ආපහු මගෙත් එක්ක එන්න ගත්තා මට කෙඳිරිගාන ගමන්.

"දර මඩුවට යන්නෙ මොටද බන්? මාලෙ එහෙද?.."

මට මූට කියන්නත් හිතයි. ඒත් මූ දන්නෙ නෑනෙ මම මොනා හිතනවද මොනා කරනවද කියලා. මම මූට මොකුත් කිව්වෙත් නෑ. ඒ හින්දා මූට මගෙ වැඩ පිස්සු විකාර වගේ ඇති. මගෙ ඔලුවට ආපුවා මූට කියම්දෝ නොකියම්දෝ කියලා මම කල්පනා කලා. අන්න එතකොටම ඇන්ටි එලියට බැස්සා. සාරි පොටත් ඉනේ ගහගෙන. ඒ පිටිපස්සෙන් නංගිත් එලියට බැස්සා.

"ආ. ඇන්ටි යනවදෝ.."

මම ටිකක් සද්දෙට ඇහුවා. ඒ ගමන ඇන්ටි හැරිලා අපි දිහා බැලුවා. නංගිත් බලලා ඒ ගමන්ම බිම බලාගත්තා.

"අපි ඉක්මනට ගිහිල්ලා එන්නම් පුතේ. ගිය ගමන් අනෙත් අතට  හැරිලා එනවා. ගොඩක් වෙලා යන එකක් නෑ. ලඟයිනෙ"

ඒ කොහොමද, ගියගමන් එන්නෙ? කියලා අහන්න හිතුනත් මම කටවහගත්තා. ඊට පස්සෙ එයාලට අත වනලා මම බලා හිටියෙ දෙන්නම නොපෙනී යනකම්. ඊට පස්සෙ මම චමිය දිහාවට හැරුනා.

"මචන්. මට දැන් මතක් උනේ. ආයෙත් පාරක් නංගිගෙ කාමරේ චෙක් කරන්න ඕනි.."

"හා යමන්"
චමියා කැමැත්තෙන්ම ඉස්සර උනා. ඌටත් දර මඩුවට යනවට වඩා මේක හොඳයිනෙ. මටත් මේක හොඳයි කියලා හිතුනා. හොරා මාලෙ උස්සන්න කෝට්ටක් පාවිච්චි කලා උනත් ඒක දර මඩුවෙම තියේවි කියලා හිතන්න බෑනෙ. ඒ කෝට්ට දර මඩුවෙ තිබුනා නම් ඒක අඳුනගන්න විදියක් මගෙ ඔලුවේ වැඩකළත් ඒක හරියටම ෂුවර් නෑ. ඒ මදිවට දර මඩුවෙ කෝට්ටක් කෝට්ටක් ගානෙ චෙක් කරන්න වෙනවා. චෙක් කරලා ආයෙ ගොඩ ගහන්නත් වෙනවා.
හපෝ.. එපා වෙනවා. ඊට වඩා මේක හොඳයි. හොරෙක් මෙහෙම මාලෙ ගත්ත නම් කෝටු කෑල්ලකින් මාලෙ ඉස්සුවා නම්, ඒ සේරම මට දැන් දැනගතහැකි... ලේසියෙන්ම..
                                                                                                 මතු පෝස්ට් හා සබැඳි...

20 thoughts on “නංගිගෙ මාලේ-03

  1. ඒ පාර කුණු ගොඩටත් ගිහින්...හි හි හී..නියමයි. කතාව කියවගෙන යද්දී මට හොඳටම හිනාත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ලීනියෝ. මටමයි වෙන්නෙ.

      Delete
  2. kella hithanna athi man maha walek kyla........?
    hikizzzzzzzz
    ane pau.... :p

    ReplyDelete
    Replies
    1. ei paw? kella ehema hithuwata mage moko.

      Delete
  3. ඒ වැඩෙත් ලේසි නෑ වගේ.. අන්තිමට කෙල්ල සෙට් වෙයිද දන්නෑ රහස් පරීක්ෂකයට.. ;) නියමයි අදත් කතාව. ඔහොම ලියාගෙන යන්කෝ.. අහ් නෑ නෑ හොයාගෙන යන්කෝ..

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ චමියගෙ නංගි නම් එපා.

      Delete
  4. ආආහ් ! එව්වා කොහෙද? එහෙම වුනොත් ඉතින් රහස් පරීක්ෂකයාගෙ මරණ පරීක්ෂණය බාර දෙන්න වෙන්නෙ ෂර්ලොක් හෝම්ස් ට තමා... :)

    ReplyDelete
  5. බොහොමයක් රහස් පරික්ශක කතා ලිය වෙන්නෙ පරික්ශකයගෙ පිටත ඉඳන් බලන කෙනෙකුගේ ඇසින්. එතකොට කතාවෙ කුතුහලය රැක ගන්න ලේසියි. මේකෙ විශේෂත්වය පරීක්ශකයම කතාව කියනවා.. සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා.. ඒ ගමන්ම කුතු හලයත් රැකෙන විදිහට.. ඔහොම සිතුවිල්ලෙන් සිතුවිල්ලට ගමන් කරන එක ලියන එක හරි අමාරු කාර්යයක්, උඹ ඒක අපූරුවට කරනවා..

    නියමයි. මම තාම ඉන්නෙ අඳුරෙ.. චමියට හෝ ඊටත් පහල මට්ටමක මගෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්... මම ඒක මුල්ම පෝස්ට් එකෙදිත් කිව්වා සෙන්නා. මම කරන්නෙ වෙනස්ම විදියකට කියලා.

      සෙන්නා ඉන්නෙ අඳුරෙ නෙවෙයි. මමයි අඳුරෙන් තිබ්බෙ. දිගටම කියවන්නකෝ.

      Delete
  6. ඇන්ටි වැරදිලා දර මඩුවෙන් ගැඩරියත් අල්ල දරට ගනීවිද දන්නේ නැහැ හිකිස්. වලෙක්වගේ හිතුවද දන්නේ නැහැ නේද සිරාවට නන්ගිගෙන් අහල බලපන් මලේ.

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇන්ටි ඌව ලිපට දානකන්ම ගැරඬියා බලන් ඉඳීවි කියලා හිතන්න අමාරුයි කෝරලේ මහත්තයා. ජීවිතය රැකගන්න සටන් කරාවි. අඩුම තරමේ දණින් වැටිලා ඇන්ටිගෙන් අභය දානය ඉල්ලලා විලාප තියන්නවත් ඉඩ තියෙනවා.

      නංගිගෙන් අහන්න? "මේ නංගියා.. මන් වලෙක්ද බන්?..."
      හපෝ බෑ. කොහොම උත්තර හම්බ වෙයිද කව්ද දන්නෙ?

      Delete
  7. හයියූ .... මූ අපිව වටේ යවනවනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පරීක්ෂණ රහස් කියන්නේ වටේ ගිහින් හැරිලා පෙරළිලා කැරකිලා හොයන්න ඕනි දේවල්. දැනටමත් ගේ වටේ කැරකි කැරකි ගියා. යන්නම වෙනවනේ. නැත්නම් කොයින්ද මාලෙ හොයාගන්නෙ?

      Delete
  8. හික්.... මරු රහස් පරීක්ෂක කතාවක් නොවැ....මම අදනේ දැක්කේ...ඉතුරු ටිකත් හිමින් කියවන්න ඕනි...... :)

    ReplyDelete
    Replies
    1. හා හා. සමනළී. හෙමීට කියවන්නකෝ.

      Delete
  9. මුල් ටික කි‍යෝලම එන්නම් :)

    ReplyDelete
    Replies
    1. නියමයිමචන් ඔන්න ඔක්කොම කියෙව්ව. අනිත් ටිකත් දාමු ඉක්මනටම. උඹෙ ස්ටයිල් එක පට්ට :)

      Delete
    2. පට්ට පට පට,
      තෑන්ක්ස් හොඳේ..

      Delete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.