මුල් කොටසට...
මම සාලෙට ඇවිත් පුටුවක් උඩ වාඩි වෙලා උඩ බලාගෙන කල්පනා කරන්න ගත්තා. නංගිගෙ මාලෙ ගැන නෙවෙයි. සිවිලිමේ තිබ්බ මකුළුදැල් ගැනයි මම මේ කල්පනා කලේ. වැඩකාරයා වගේ එක වැඩක් ගොඩ දාගත්තට මේකෙදි නම් මම හිර වෙලා කියලා මට දැනුනා. කැලේ වගේ හෝඩුවාවන් හොඳට පැහැදිලිව හිටින්නෙත් නෑ මේ කාමර අස්සේ. තිබුනොත් නම් ඉතින් එලියෙම තමා.
මම ඔහේ කල්පනාවෙ ඉද්දි ඇන්ටියි නංගියි චමියයි තුන් දෙනාම මගේ දිහා බලාගෙන සාලෙටම වෙලා හිටියා. හැබැයි කවුරුවත් මගෙ කල්පනාවට බාධා කරන්න ආවෙ නෑ. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට ඇන්ටිගෙයි නංගිගෙයි ඉවසීම අඩුවෙලා වගේ, මගේ දිහා බලා ඉඳිල්ල ඇති වෙලා අනෙත් පැත්ත හැරුනා. දෙන්නත් එක්ක කුටු කුටු ගගා කුස්සිය පැත්තට යනකොට මම එලියට බැස්සා. චමියා මගෙ පස්සෙන් ආවා.
මම ටිකක් වෙලා කල්පනා කලේ මොනවද මම හොයන හෝඩුවාවන් කියලා. හොරෙක් ආව නම් උගේ අඩි සලකුණු, උගෙ ඇඳුමේ නූල් කෑල්ලක්, නැත්නම් උගෙ ඇඩ්‍රස් එක ලියලා තියෙන විසිටින් කාඩ් එකක්වත් ඌ තියලා ගියාද කව්ද දන්නෙ?
පුහ්... මගෙ මහ ලොකු හැකියාව. හම්බවෙයි මට...
මම බිම බලාගෙන දොරකඩ ලඟ එහාට මෙහාට ගියා. ම්හු. පේන්න දෙයක් නම් නෑ. අනේ අපොයි. මටත් පිස්සුනෙ. හොරෙක් ආවොත් ඉස්සරහ දොරෙන් එයිද? මට තනියෙන් හිනා ගියා මන් ගැනම.
මම මිදුලට බැස්සා. ඊට පස්සෙ බිම බලාගෙනම පිළිකන්න පැත්තෙන් ගේ පිටිපස්සට ගියා. අඩි ලකුණක්වත් වෙන මොකුත් ලකුණක්වත් මට පෙනුනේ නම් නෑ. තිබ්බත් මඩේ එරුනා වගේ තිබ්බොත් මිස මගේ ඇහැට පේන්නෙ නෑනෙ? මට ඒ ගමන මතක් උනේ සේනාරත්න මහත්තයව. එයා හිටියා නම්...










